Wednesday, November 28, 2012

සතුට

අවිහිංසකයි
නොපෙනුනත් 
මතුපිටට...
හැගීම්බරයි 
නොදැනුනාට
හැමවිටම   ...
සෙනෙහෙබරයි 
නොපෙරලුවද
වචනයට ...
ජීවිතයයි 
ඇත්තටම 
නුඹව මට...

මතකය සුවඳයි

හීන ඇහිඳපු
මතක යායට
යන්න දොරගුළු
නොවේ කිසිවිට‍...

හදේ ගැඹුරුම 
ලෙයින් ඉපැදුණ
නුඹේ සෙනෙහස 
වීය  අත්වැල...
ගලපන්න ජීවිතය...

මියැදුනත්  නොමියෙන 
සෙනෙහසම මිස 
නොවේ කිසිවක් 
මා සතුව...
නුඹ නමට 
පිදිය හැකි.

Friday, November 23, 2012

අනෝරා වැහි යටින්..

ඉරි තලා සුසුම් හෙළු
ගිම්හාන පොළෝගැබ 
නව පණක් ලද දිනේ ....
අනෝරා වැහි යටින් 
තෙතබරිත සියොළඟින්
නුඹ ආව මා වෙතට
හදවතේ උණුසුමෙන්..
කිටි කිටියෙ වෙවුල යන 
ගුලිගැහෙන සීතලෙත් 
නුඹ ආව මා සොයන්
හද  පුරා ආදරෙන්....
වැසි දියට දිය නොවන 
ඔබෙ උතුම් ආදරේ ...
පණ සදිසි රකින්නට 
සපත වූවෙමි දහස් වර 
නුඹේ ළයේ හිස හොවන් 
නුඹට නොව මා මටම

හැඳින්නෙමි

කඳුලක්ව දිය නොවුණු 
නුඹේ සෙනෙහස 
කෝපයක් ලෙස ගිලිහි ගියදා 
මා අභියස ...
විපිළිසර වූවෙමි ...
නුඹේ අරුමැසි පෙම කොහේදැයි 
අඬන්නට බැරි 
නුඹේ හදවත 
කෑ ගසා ඇඬු 
හදේ ගොලුහඬ 
නපුරු වදනක් 
වුව අරුමය 
හැදින්නෙමි මම 
තවත් දිනයක...

Sunday, November 18, 2012

නොවැටහීම

නුඹට කිසිවෙකුගෙන් 
උදව්වක් අවශ්‍ය වන්න ඇත...
ඒ බවක් මට නොදැනෙන්න ඇත.
ඔබට මගෙන් උදව්වක් 
අවශ්‍ය වෙන්න ඇත 
ඒත් ඔබ නොඉල්ලන්න ඇත.
ඔබට මාගෙන් උදව්වක් 
අවශ්‍යදැයි අසන්නට 
මට නොහැකි වන්න ඇත.
මාගෙන් උදව්වක් 
අවශ්‍යදැයි මා අසන විට
ඔබට එය අවශ්‍ය වෙලාව
නොවන්න ඇත.
ඔබට උදව් කරන්නට 
මට සිත් වුවද 
එය පිළිගන්න නුඹේ හිත
ඉඩ නොදෙන්න ඇත.
මා නුඹට උදව්වට කැමති වග 
නුඹ නොසිතන්න ඇත.
මගේ උදව් පිළිගන්න 
නුඹ නොකැමැති බවක් 
මට හැඟෙන්න ඇත.
ඒ  ගැන විමසන්නට 
එනිසාම මසිත 
මැලිවන්න ඇත.
ඒත්...
මාගෙන් උදව්වක් ඉල්ලීමට තරම්
නුඹ නිහතමානී වීනම්..
එය මා අතින් 
නොපිරිහෙලා ඉටුවෙන බව 
පමණක් කියනු හැක.


Wednesday, November 14, 2012

නුඹේ පෙම

වදනකින් නොදොඩන
හදවතට  වැටහෙන 
නුඹේ ගැඹුරු 
සෙනෙහස ...
පුරුදු  සුවඳක 
සුසුම්  පවනක 
වෙලි වෙලී විත් 
සතපවයි...
මගේ දිවියම
සොඳුරු අරණක...

මධුවිත

අල්ලාප සල්ලාප
මිතුරු පිරිවර මැද 
මවමින් කවට සිනා 
මතුකරවන සතුට ...
හෝරාවකට දෙකකට...
උගුර බඩ දවමින්
මුහුණ  කට හකුළුවමින්
උඩ බලා හලා ගනී
විටින් විට 
සතුට  නිදහස 
සියලු විසඳුම් 
ඒ සමග ...
ළන්  කරන සීරුවට
මරණයට...

දුම්වැටිය

උදුරා ගන්නා සැටි
නුඹ...
බිඳෙන් බිඳ
අනිකකුගේ පණ නළ
නොදානීද නුඹ?
නොහැඟේ ඔහුටද
මොහොතක සැපත
දවා හළුකරන වග 
හෙමිහෙමින් 
සුවබර දිවියක 
සොඳුරු ඉරණම...

Monday, November 5, 2012

එදා සහ අද

මගේ පුංචි පැල්පතට 
නමාගෙන හිස 
ඇතුළුවන්නට 
වැල් කැඩී ගිය 
එකම පුටුව මත 
හරි බැරි ගැහී
වාඩි වෙන්නට
නුඹේ  හදවත 
ඉඩ නොදෙන්නැති

එකම බත්පත 
එකට කෑ අප 
අත බැඳන් 
සෙල්ලමේ උන් අප
නොවී විරසක
වීය බෝ දුර 

සෙයිලමේ නුඹ ගියායින් පසු 
නිනව් නැතිවිද නුඹට මා  ගැන
හමුවුනත් නාඳුනන  විලසින් 
යනෙන කල නුඹ රෝද සතරින් 
ශාප කරනෙමි නුඹට නොව මම
අපව වෙන්කළ දිළිඳුකමට ම

සසර


ආශාව දුකම බව 
දෙසු සම්බුදු පියේ
ඉපදීම දුකට මුල 
වීය හිමි දෙසු බණේ
මිදෙන මග ඒ දුකින් 
හෙලිකත් හිමියනේ
මුළා වූ සිත තවම  
සසරෙ
කැරකෙනවානේ.....

මිනිසා

මින්ම ලොව ඉපිද 
සිනහවක් සොයමින්
අඩ අඩා ඇවිද යයි ....
කදුළු  අතරින් 
උපන් සිනහවද
ක්ෂණයකින්  
බොඳව යන සඳ 
සිනාවෙන්නට දැරූ තැත  
තරමටම අඩමින්
සොයයි සැනසුම 
නොලැබෙනා කිසිවිට ...
මියෙයි උරුම කර දුක
නොපුදාම සිනහව
තම උන්ට .

Friday, November 2, 2012

පැනයක්

හොඳ මිතුරෙකු වන්නට 
ඔබගෙ
නොමැති වුයෙන් 
කලණ ගුණ මා සතුව
හෙමි හෙමින් අපි අපෙන්
වෙන්වුණා වෙන්න ඇති....
නමුදු මා නුඹට කළ 
වරද කිම්දැයි කියා 
දිවා  රෑ තවම මම සොයන්නෙම්
වරද මා අත නැතත් 
වැරදි අවබෝදයක්
අප අපෙන් 
දුරස් කර ලන්න 
ඇති....

මා මිතුරේ

නුහුරු නුපුරුදු දේශයක 
නුඹේ ළෙන්ගතුකම
වීය සවියක්
හුරුපුරුදු
මකා  ගන්නට නුහුරු තනිකම
බිඳෙන් බිඳ ගොඩනැගුණ
ඒ සොඳුරු මිතුදම
නොදැනීම හෙමි හෙමින්
ගිලිහෙද්දි
බලා වුණි
නිසොල්මන්ව
පසක් කර ගත නොහී 
මා නුඹට කළ වරද 
දරාගන්නට තිබිණි 
නොවිනිනම් ළෙන්ගතුකමක්
ම කෙරේ නුඹ නමට ....
එතැන් සිට තවම මම 
වෙර දරමි 
වටහ ගන්නට
නුඹේ වෙනස